පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමට මධ්‍යම රජයෙන් ලැඛෙන අරමුදල් 2028 වසර වන විට නතර කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි අනුව මෙසේ පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන අරමුදල් 2028 වනවිට නතර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ පැවැසුවාය.

පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීම සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට මුදල් වෙන්කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන මගිනි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අයවැය මගින් මෙම මුදල් වෙන්කරන අතර පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වෙත අදාළ අරමුදල් ලැබේ. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය ගෙවීම් ආරම්භ වන 2028 වසරේ සිට පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් නොලැබී යනු ඇතැයි වාර්තා වේ.

2028 වසරේ සිට පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීම් නතර කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Share.

Comments are closed.

Exit mobile version