ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත් විදුලිය හා ඉන්ධන භාවිත කරන්නන් ඒ සඳහා සුදුසු පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් හොදම දෙය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවහොත් එම පාඩු මග හරවා ගැනීම සඳහා බදු ගෙවන්නාගේ මුදලින් සහන ලබා දීමට රජයට සිදුවන බව ඔහු කියා සිටියේය. එවිට සහන ලබා දීමට වැයවෙන මුදල් නැවත ලබා ගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රිත්මක කිරීමේ මූල ධර්මයට රටක් වශයෙන් ශ්‍රී ලංකාව එකඟ වූයේ පසුගිය වසරේ බවත් වර්තමාන විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

පිරිවැයට සරිලන ආකාරයට යම් සංශෝධනයක් කළ යුතු බව දෙපාර්ශවය එකඟතාව පළකර තිබෙන බවත් පිරිවැයට සරිලන මිල තරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය එකතු වීමෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කලේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදීය.

Share.

Comments are closed.

Exit mobile version