නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් නැතත් ආසියාවේ කොවිඩ් රෝගීන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බිය විය යුතු නැතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මුඛ ආවරණ පැලඳීම සිදු කරන ලෙස ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ලේකම්වරයා පැවසීය.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද කීවේය.
“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ප්‍රධාන සාකච්ඡාව පැවැත්වූවා. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා.
ආසියාවේ කොවිඩ් වැඩි වීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කිරීම වැඩි කළා.
කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් බාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිස්සාව හැදුණොත් මුඛ ආවරණයක් පාවිච්චි කරන්න ඒක අනිත් අයටත් හොඳයි.”
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මේ දිනවල රටේ වැඩි වශයෙන් පවතිනවා. එය මර්දනය කිරීමට පූර්ණ අවධානය යොමු කරලයි තියෙන්නේ.
මෙම රෝග බෝවීම සිදු වන්නේ එකම මදුරු වාහකයෙක් මඟිනි. මෙම රෝග බෝවීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිසරික සෞඛ්‍ය ගැටලුයි. මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත්. මේ පිළිබඳ වගකීමක් පවතින ප්‍රධාන ආයතනයක් ලෙස සැලකෙන්නේ පළාත් පාලන ආයතනයි. දැනට මේ සඳහා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන අවධානය අඩු වී තිබෙනවා.