එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිශයින් අපේක්‍ෂිත අති නවීන අධිවේගී දුම්රිය ප්‍රවාහන පද්ධතිය පිළිබඳ ලොව ප්‍රථම දර්ශනය සිකුරාදා 51 වැනි ජාතික දින සැමරුම් උත්සවයයේදී ප්‍රදර්ශනය කෙරිණා.

මෙම මගී දුම්රිය, අල් රුවයිස්, අල් මිර්ෆා, ඩුබායි, සාජා, අල් ඩායිඩ් සහ අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර සහ කලාප 11ක් අල් සිලා සිට ෆුජයිරා දක්වා සම්බන්ධ කරනු ඇත.

සෑම දුම්රියකම මගීන් 400 කට වඩා ආසන ධාරිතාවක් ඇති අතර පැයට කිලෝමීටර 200 ක වේගයෙන් ධාවනය කිරීමට සැලසුම්
කෙරේ.

මගීන්ට අබුඩාබි සිට ඩුබායි දක්වා විනාඩි 50 කින් සහ අගනුවර සිට ෆුජයිරා වෙත විනාඩි 100 කින් ගමන් කළ හැකිය. 2030 වන විට වාර් ෂිකව මගීන් සංඛ්‍යාව මිලියන 36.5 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහළ කාර් ය සාධනය, කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූ විෂමතාවයට සහ දේශගුණයට ගැලපෙන නවීනතම තාක්‍ෂණයන්ගෙන් මගී දුම්රිය සමන්විත වේ.

සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් වායු සමීකරණ පද්ධතියකට අමතරව, ආහාර පාන සහ ප්‍රමාණවත් ඉඩ පහසුව, තොරතුරු රසාස්වාදන පද්ධති, ආරෝපණ මධ්‍යස්ථාන සහ තවත් බොහෝ නවීන පහසුකම්වලින් මෙම දුම්රිය සමන්විත වේ.

ව්‍යාපාරික පන්තියේ, පළමු පන්තියේ සහ මිල පහසු ඊකොනොමි පන්තියේ ඇතුළු විවිධ ආසන වර් ග ද මෙහිදී හදුන්වා දෙයි.

Share.

Comments are closed.