මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇතිබව වාර් තාවේ.

මෙම මැතිවරණය සඳහා දල වශයෙන් නිලධාරීන් ලක්ෂ දෙකහමාරක්, තුනත් අතර සංඛ්‍යාවක් යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිසන් සභාව කියයි. ඊට ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පොලිස් නිලධාරීන්ද ඇතුළත්ය. රාජකාරි කරන නිලධාරීන්ට අමතර දීමනා, ප්‍රවාහන දීමනා, ඉන්ධන, මුද්‍රණ ගාස්තු, ජලය, විදුලිය, ජෙනරේටර් ආදිය සඳහා මැතිවරණ කටයුතුවලදී මුදල් වියදම් කෙරේ.

මැතිවරණය සතියේ දිනක පවත්වන්නේ නම් නිලධාරීන්ට ගෙවන දීමනා යම් ප්‍රමාණයක් අඩුකර ගත හැකි බවද එම කො මිසම කියයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස අගදී සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවේ.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ (2023) පෙබරවාරි මස හෝ මාර් තු මස මුලදී පැවැත්වීමට නියමිතය. බොහෝ දුරට මැතිවරණය සෙනසුරාදා දිනයක පැවැත්වීමට නියමිතය.

Share.

Comments are closed.