2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වෙනවා.

එහිදී දේශීය ණය රු. බිලියන 13,119.4 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 11,574.6 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 08 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 7,104.6 කින් හෙවත් 40.39% කින් ඉහළ ගොස් තිබීමයි.

ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟම විදේශ මුදලින් නාමකරණය වී තිබුණු ණය ප්‍රමාණයන් හි රුපියල් වටිනාකම ඉහළ යාම මෙලෙස මාර්තු මාසය තුළදී මේ සා විශාල අගයයකින් සමස්ත ණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම කරුණත් සමඟම අනෙක් ප්‍රධාන කාරණය නම් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද සීඝ්‍ර වැඩිවීමකට ලක්ව තිබීමයි. එක්පුද්ගල ණය ගණනය කරනුයේ වාර්ෂික සමස්ත ණය, මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදීමෙනි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 ක් වේ. ඊට අනුව ගණනය කිරීමේ දී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,114,551 කි. එනම් ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11 ක ණයක් දරන්නෙකි. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසයි.

Share.

Comments are closed.