ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනුකාරක සභාවේදී සාකච්ඡා කොට තිබෙනවා.

විශේෂයෙන් E-Governance සංකල්පය යටතේ සියලු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා අතර දුරස්ථභාවය අවම කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බවත් ඒ අතර වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තීකයන්ගේ ශ්‍රමය රටින් පිටතට ගලා යාම ප්‍රධානතම ගැටලුව බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ පාසල් විෂය නිර්දේශය තුළට තොරතුරු තාක්ෂණ විෂයය හඳුන්වා දී ඇතත් ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුවී නොමැති බව සාකච්ඡා වී ඇති අතර අලුතින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය අනිවාර්‍යය විෂයක් බවට පත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ විෂයයට අදාළ ආචාර්යවරුන්ගේ හිඟය අවම කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවට අදහස් පළවූ අතර, ආචාර්යවරුන් සඳහා යම් බදු සහන වැඩපිළිවෙලක් සකස් කිරීම යෝග්‍ය බවට ද කමිටුවේ දී යෝජනා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රමයේ ගුණාත්මක තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙහිදී පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් ක්ෂේත්‍රයේ ශ්‍රමයට ඇති ඉල්ලුම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නෙමැති නිසා රටින් පිට නොවී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල පිහිටි ආයතනවල සේවය කිරීමට ශ්‍රමිකයන් යොමු කිරීමෙන් රට තුළට පැමිණෙන විදෙස් මුදල් ප්‍රමාණය වර්ධනය වන බව ද හෙලිවී තිබේ.

මීට අමතරව වත්මන් විදුලි අර්බුදය හේතුවෙන් සිදු වන විදුලි කප්පාදුව නිසා කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් දැඩි දුෂ්කරතාවයකට පත්වන අතර මහා පරිමාණ ව්‍යාපාරවල ද බලශක්ති පිරිවැය ඉහළ යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.

ආසන්න වශයෙන් ඩොලර් මි. 3.47 ක් වන ශ්‍රී ලංකාවේ ‘ඩිජිටල් ආර්ථිකය’ සමස්ත ආර්ථිකයෙන් 4.37% ක් පමණ වන අතර ලෝකයේ අන් රටවල් සලකා බැලීමේදී එය 15%ක පමණ මට්ටමක පවතින බව ද කමිටුවේදී හෙලිවී තිබේ.

එමෙන් ම කුඩා පරිමාණ අලෙවිකරුවන් සඳහා නැව් ගාස්තු තැපැල් හා කුරියර් ගාස්තු වැනි අපනයන පරිවහන පිරිවැය අවම කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

Share.

Comments are closed.