මේ වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ අලි මරණ 395ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව අලි මරණ 20ක වැඩිවීමකි.

අලි – මිනිස් ගැටුම් හේතුවෙන් මේ වසරේද පුද්ගලයන් 127 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වනජීවී නිලධාරීන්ට අනුව 2022 වසරේ විදුලි සැර වැදීමෙන් පමණක් අලි ඇතුන් 38 දෙනෙකු මියගොස් තිබේ.

සීගිරිය ඉනාමළුව, රොටවැව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැන්වලට හසුවීමෙන් 30 හැවිරිදි වන අලියෙකු පසුගිය දෙසැම්බර් 8 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

රොටවැව ප්‍රදේශයේ අක්‍රීය විදුලි වැට පිළිබදව  ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගණනාවකදී සීගිරිය වනජීවී කාර්යාලයට දන්වා සිටියද එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අලින්ගෙන් කෘෂි භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් තම නිවෙස්වල සිට වගා බිම්වලට විදුලි රැහැන් ඇද ගන්නා බව සීගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසුවා.

මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් සිදු කළ අතර ඉඩම් හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවා.

Share.

Comments are closed.