සිංගප්පූරුවේ හෙද රැකියාවකට ගොස් ආන්දෝලනයකට ලක්වූ හෙද නිලධාරිනිය සියලු සුදුසුකම් සපුරා ඇති අයකු බවත්, ඇයගේ වරදක් සිදුවී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිංගප්පූරු රජයට ලිඛිතව දැනුම් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් මෙම 16වැනිදා එම ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමුකර තිබේ.

මෙම හෙද නිලධාරිනිය හෙද සභාවේ ලියාපදිංචි අයෙකු බවත්, ඇයගේ ලිපි ලේඛනවල සඳහන් සුදුසුකම් සපුරා ඇති බවත් මෙයින් සහතික කර ඇත.

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රැකියා අවස්ථා ලබාදීමට රජයන් අතර ඇතිකරගත් එකඟතාවය අනුව ඇරඹූ රැකියා ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක්ද කර තිබේ.

මේ අනුව ලබන ජනවාරි 15 දායින් පසුව සිංගප්පූරුවේ හෙද සේවයට මීළඟ කණ්ඩායමට යාමට ඉඩ ලබාදීමට සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය එකඟතාවය පළකර ඇත.

සිංගප්පූරුවේ හෙද සේවයට ගිය මුල්ලේරියා රෝහලේ (නැගෙනහිර කොළඹ) හෙද නිලධාරිනියක විසින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය වෙත යොමුකළ ලිපියක් හේතුවෙන් මෙරටට ලැබුණු රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් මතුවිය.

මේ ලිපිය නිසා සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි සිංගප්පූරු තානාපති කාර් යාලය රජයට දැනුම් දී තිබුණා.

මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවත්, මෙම හෙදියගේ සුදුසුකම් ගැන සඳහන් වූ ලිපියේ දෝෂ ඇති බවට ඔප්පු වුවහොත් සිංගප්පූරු රජයට දැනුම් දෙන බවත්, සෞඛ්‍ය ලෙකම්වරයා සිංගප්පූරුවට යැවූ ලිපියෙන් දන්වා තිබේ.

හෙද නිලධාරිනියගේ සුදුසුකම්වල ප්‍රශ්නයක් නොවන බවද එම ලිපියෙන්ම තහවුරු කර ඇත.

Share.

Comments are closed.