එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගත Smart Mobility ව්‍යාපෘතියේ දෙවන අදියරට පිවිසෙමින් අබුඩාබිහි යාස් සහ සාදියාත් දූපත් වල රියදුරු රහිත කුලී රථ, කුඩා රොබෝ බස් රථ සහ ට්‍රෑම් රථ ඇතුලුව වාහන 17ක් අබුඩාබි වැසියන්ට සහ සංචාරකයින්ට සේවය දැනටමත් ආරම්භකොට තිබෙනවා.

ස්වයං ධාවන කැබ් රථ අටක්, කුඩා රොබෝ බස් රථ හයක් සහ රේල් පීලි නොමැතිව ක්‍රියාත්මක වන වැඩිදියුණු කළ වේගවත් ට්‍රෑම් රථ (ART) දැනට යාස් සහ සාදියාත් දූපත් වල ක්‍රියාත්මක වෙනවා. විදුලියෙන් ධාවනය වන මෙම රථ සඳහා ගමනාන්තවලදී වාහන ආරෝපණ ගත කිරීමට ආරෝපණ මධ්‍යස්ථාන 20ක් පමණ පිහිටුවා තිබෙනවා. 

එහි පළමු අදියරේදී, රේල් පීලි රහිත ට්‍රෑම් රථ යාස් දූපතේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන සහ වාණිජ මධ්‍යස්ථාන වෙත සේවා සපයනු ලබනවා. 

මෙම සේවාවන් සපයන මාර්ගය කිලෝමීටර් 47.5 ක් දිගු වන අතර, මෙම සේවාව සතිය පුරා උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.

මේ අතර, රොබෝ බස් රථ බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ සාදියත් දූපතේ ජැක් චිරාක් වීදිය හරහාය. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සවාරි වෙන්කරවා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට Txai යෙදුම බාගත කර ස්ථාපනය කරගත හැකියි.

අබුඩාබි හි මහනගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) සඳහන් කළේ එමිරේට්ස් නගර වඩාත් බුද්ධිමත් සහ තිරසාර බවට පත්කිරීමේ නායකත්වයේ දැක්මට අනුව මෙම මුලපිරීම සිදුකොට ඇතිබවයි.

Share.

Comments are closed.