ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් විසින් ගෙවිය යුතු එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව කටුනාය​ක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන මගීන් ගුවන්ගත කිරීමේ ගාස්තුව ලෙස ඇමෙරිකානු ඩොලර් 30ක් ගෙවිය යුතු වනවා.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන සෑම පුද්ගලයෙකුගෙන්ම ඇමෙරිකානු ඩොලර් 30ක එම්බාර්කේෂන් බද්දක් අය කෙරෙන අතර, 2023 ජනවාරි 12 සිට 2023 ජූලි 11 දක්වා කාලය තුළ එම ගාස්තු අදාළ වන බවයි නිකුත් කර ඇති නිවේදන​යේ දක්වා ඇත්තේ.

මේ අතර මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැර වෙනත් ගුවන් තොටුපළකින් ශ්‍රී ලංකාවෙන් පිට වන ඕනෑම අයෙකු ඇමෙරිකානු ඩොලර් 60ක ගුවන්ග​ත කිරීමේ බද්දක් ගෙවිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවෙන් මුහුදු මාර්ගයෙන් පිටත්ව යන අය ද ඇමෙරිකානු ඩොලර් 60ක නැව්ගත කිරීමේ බද්දට යටත් වනු ඇති, අතර මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භ කළ දින සිට වසර දෙකක කාලයක් සඳහා මෙම බද්ද අය කිරීමෙන් නිදහස් කර තිබෙනවා.

මෙම එම්බාර්කේෂන් බදු නියෝග 2023 වසරේ ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන බව යි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share.

Comments are closed.