ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ල ගෙන අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර් යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබෙනවා.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර් යාංශය විසින් පිළිකා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500 ක ප්‍රධානයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබුවා.

Share.

Comments are closed.