එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා විසින් අබුඩාබි ජනාධිපති මන්දිරයේ පිහිටි Qasr Al Watan හි පැවති උත්සවයකදී උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු Sheikh Mohamed bin Rashid Al Maktoum වෙත අක්තපත්‍ර ප්‍රදානය කරන ලදී.

ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරය ඇතුළු තවත් තානාපතිවරුන් 15 දෙනෙකු ද එම අවස්ථාවට අක්තපත්‍ර භාර දුන් බව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මෙහිදී තානාපති ඉන්ද්‍රරත්න මහතා, අතිගරු ෂෙයික් මොහොමඩ් වෙත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ​ගේ උපහාර සහ සුබපැතුම් පිරිනැමීය. දේශපාලන, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම තානාපතිවරයා යළිත් අවධාරණය කළේය.

අක්තපත්‍ර පිළිගනිමින්, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රටේ කැපවීමේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් අලුතින් පත් කරන ලද තානාපතිවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ෂෙයික් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය එච්.එච්. ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරු රැසක් සහභාගි වූහ.

Share.

Comments are closed.