පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දක්වන බව පලස්තීනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  තානාපතිවරු අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ට දැනුම් දී තිබෙනවා.

කොළඹ සිටින පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid, ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri යන මහත්වරු පසුගියදා මහනුවරදී අස්ගිරි මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශකොට තිබෙනවා.

අරාබි කවුන්සිලය තවත් මුස්ලිම් රටවල් 22ක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zhair M.H Dar Zaid මහතා පැවසීය.

ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාදීමට අරාබි කවුන්සිලය නියෝජනය කරන රටවල් සුදානම් බවත් වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයින් රැකියා සඳහා යොමු කිරීමෙන් වැඩි ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන මුස්ලිම් රටවල් අන්තවාදය ප්‍රතික්ෂේප කරන බවත් සාමය සහ සහජීවනය අගය කරන බවත් ඔහු අවධාරණය කළේය.

වත්මන් ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට නව ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා රටට සහය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බවත්, ඊට කිසිදු කොන්දේසියකින් තොරව සහය දීමට අරාබි කවුන්සිලය සූදානම් බවත් ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වැඩිදියුණු කර ගනිමින් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමේදී මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය අත්‍යවශ්‍ය බවද ඔවුන් ප්‍රකාශ කළහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri මහතා පැවසුවේ සාමය සහ සහජීවනය කේන්ද්‍ර කරගත් බෞද්ධ දර්ශනයේ මඟ පෙන්වීම සහ ඉගැන්වීම් මුළු ලෝකයටම අවශ්‍ය වන සුදුසුම මොහොත දැන් එළඹ ඇති බවයි.

ලෝකයේ සියලුම ආගමික නායකයින් විවිධ ජාතීන් හා ආගම් අතර සාමය සහ සමගිය වෙනුවෙන් පෙනී සිටින බවත් බුද්ධ දර්ශණය ද තනිකරම අවිහිංසාව මත පදනම් වූවක් බවත් අස්ගිරි මහනායක හිමියෝ පැවසූහ.

Share.

Comments are closed.