විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ විදේශ ප්‍රේෂණ මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය 2023 අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

සංක්‍රමණික සේවකයින්ට මීට පෙර 2022 මැයි සිට 2022 දෙසැම්බර් 31 දක්වා විදුළි වාහන ආනයනය කිරීමට අවසර දී තිබුණි.

ඕවර්ලන්ඩ් ඔටෝමොබයිල් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නානායක්කාර මහතා පෞද්ගලික පදනමින් මෙරටට ඩොලර් ගෙන එන අනෙකුත් පුද්ගලයින්ට​ද විදුලි වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ සූදානමක් ද අනාවරණය කළේය.

රටේ ක්ෂය වූ විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමේ අරමුණින් රජය පසුගිය වසරේ ආර්ථික අර්බුදය හේතුවෙන් රට අගාධයකට වැටුණු විට සංක්‍රමණික සේවකයින්ට ප්‍රතිලාභ ලබා දීමට පියවර ගත් බව ඔහු පැවසීය.

එම වැඩපිළිවෙළට දැඩි ලෙස විරුද්ධ වූ ඇතැම් නිලධාරීන් නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වුවද, විගමණික ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පුනර්ජනනීය බලශක්ති සහ හරිත බලශක්ති ප්‍රභවයන්ට සහය දැක්වීමට රජය දක්වන කැමැත්ත යළිත් අවධාරණය කළ අමාත්‍ය නානායක්කාර, ඉදිරියේදී රාජ්‍ය අංශය සඳහා ගෙන්වන්නේ විදුලි වාහන පමණක් බව පැවසීය.

Share.

Comments are closed.