නඩත්තුව සඳහා මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා නොදීම නිසා පවත්වාගෙන යාම අභියෝගයක්ව තිබූ සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික ආයතන හතළිස් එකක් සහ දානපතින් එකඟතාව පළ කර ඇත.

සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම පෞද්ගලික ආයතන එකාබද්ධව පැවැත්වූ සාකච්ඡාවකින් පසු මේ වන විට සොයාගෙන ඇති මුදල රුපියල් මිලියන පන්සිය විසිපහකි.

සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බව සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේ යැයි පසුගිය මාර්තු තිස්වැනිදා ‘අරුණ’ පුවත්පත අනාවරණය කළේය.

සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මෙම ගිලන් රථ සේවාව සඳහා ලබාදෙන මුදල රුපියල් බිලියන තුනයි දශම දෙකකි. එහෙත් මෙවර මහා භාණ්ඩාගාරය වෙන්කර ඇත්තේ රුපියල් බිලියන දෙකයි දශම පහකි.ලැබෙන මුදලින් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන එකයි දශම දෙකක් වාර්ෂිකව වැයවේ.

ගිලන් රථ අලුත්වැඩියා ටයර් සහ අනෙකුත් උපංග සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැයවන බව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.

සුවසැරිය ගිලන් රථ සේවය තුළ දිවයින පුරා ගිලන්රථ දෙසිය හැත්තෑ නවයක් ක්‍රියාත්මකයි. දිනකට හදිසි අවස්ථාවන් 1050 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ගිලන් රථ පිටත් කර යවයි. කෙසේ වෙතත් මාර්තු මාසය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දිය යුතු මුදල ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබී නොතිබිණි.

මේ නිසා ගිලන් රථ නඩත්තුවට පෞද්ගලික අංශය සහ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

එක් ගිලන් රථයක වසරක නඩත්තු මුදල රුපියල් ලක්ෂ පනහකි. මෙම ගිලන් රථ සේවාව ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස යහපාලන රජය සමයේදී ආරම්භ කළේද වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සහ එවකට ඇමැතිවරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා සහ රාජිත සේනාරත්නයි.

Share.

Comments are closed.