ශ්‍රී ලංකාවෙන් රිලවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙවන් ඉල්ලීමක් සිදු කර ඇති බවට මාධ්‍යවලින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බව ද එහි දක්වා තිබේ.

එවැනි ඉල්ලීමක් යම් කිසි ආයතනයක් සිදු කරනු ලබන්නේ නම් එරට වන සතුන් සහ ශාක ආනයනය, අපනයනය කළමනාකරණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලන ආයතනය (CNFGA) මගින් ඉල්ලීම් කළ යුතු නමුත් එසේ සිදුකර නොමැති බව ද එහි සඳහන් කර ඇත.

දේශීය හා විදේශීය මාධ්‍ය මෑත කාලයේ මේ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු වාර්තා කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශ තානාපති කාර්යාලය නිරීක්ෂණය කර ඇති බව ත් එහි දක්වා තිබේ.

පර්යේෂණාත්මක අරමුණක් සඳහා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රිලවුන් (ටෝක් වඳුරන්) රැගෙන යාමක් සම්බන්ධයෙන් බීජිං හී බලධාරීන් දැනුවත් වී නොමැති බව ත් චීනය සෑම විට ම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රිය ලෙස දායක වන බවත් එහි සඳහන් කර ඇත.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබද සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය 1988දී එකඟවී ඇති බවත් මේ වන විටත් සංශෝධන කිහිපයක් සමග වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බවත් එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙසට චීන සමාගමක් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර් ධන පසුගි​යදා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව කමිටුවක් පත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Share.

Comments are closed.