විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රලේ​ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ගුවන්තොටුපොලේදී මේ වන විට ලබාදෙන තීරුබදු සහන​යට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේ​ඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේ​ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබයි. පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ.

  • ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද,
  • ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක්ද,
  • ඩොලර් 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440 ක්ද,
  • ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2400 ක්ද,
  • ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.
Share.

Comments are closed.