මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට යවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මේ වසරේ පළමු මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 1867.2ක් ලංකාව​ට යවා ඇතැයි එම කාර්යාංශය පැවසීය.

අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454ක් යවා තිබෙන බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කර බලන විට 82.4%ක ඉහළ යාමක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5ක මුදලක් යවා තිබෙන බවත්, එය 68.8%ක වර්ධනයක් බවත්,

පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 407.4ක් යවා ඇති බවත්, පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව එය 98.6%ක වර්ධනයක් බවත්,

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 568.3ක මුදලක් යවා තිබෙන බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව 78.5%ක වර්ධනයක් බවත් එම කාර්යාංශය පැවසීය.

නීත්‍යානුකූල ක්‍රම හරහා ශ්‍රී ලංකාවට මුදල් ​යවනු ලබන විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබා දීමටත් ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමටත් මේ වන විට පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

Share.

Comments are closed.