ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ පළමු තර​ඟය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී පැවැති තරඟයේදී ගෝල් ටයිටන්ස් පිල සුපිරි ඕවරයේදී දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය.

දඹුල්ල අවුරා පිල සුපිරි ඕවරයේදී කඩුල්ලක් දැවී ලකුණු 9 ක් රැස් කළ අතර ගෝල් ටයිටන්ස් පිල එම ඉලක්කය පන්දු දෙකකදී සම්පූර්ණ කළේය.

තරඟය ලකුණු 180 කට සම වීමෙන් ‘සුපිරි ඕවරය’ යැවීම​ට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල අවුරා පිලට ඕවර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමෙන් තර​ඟය සමවිය.

ගෝල් පිලේ නායක දසුන් ශානක අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුළු 3 ක් ලබාගැනීමට සමත්විය.

ගෝල් පිල වෙනුවෙන් දසුන් ශානක වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ගෝල් පිල ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් පිලේ භානුක රාජපක්‍ෂ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 34 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් රැස් කළේය.

ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුළු 5 ට ලකුණු 180 රැස් කළේය. ෂෙවෝන් ඩැනියල් 33, භානුක රාජපක්‍ෂ 48, ශකීබ් අල් හසන් 23, දසුන් ශානක නොදැවී 42, බිනුර ප්‍රනාන්දු 32/1, ශනාවාෂ් දහනි 37/2, ධනංජය ද සිල්වා 38/1

දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුළු 7 ට ලකුණු 180 රැස් කළේය. ධනංජය ද සිල්වා 43, කුසල් පෙරේරා 40, සදීර සමරවික්‍රම 13, ඇලෙක්ස් රෝස් නොදැවී 39, හයිඩන් කීර් 20, දසුන් ශානක 27/3, කසුන් රාජිත 35/2, විශ්ව ප්‍රනාන්දු 20/1, ශකීබ් අල් හසන් 25/1

Share.

Comments are closed.