එංගලන්ත කාන්තාවන් හමුවේ දෙවැනි ප්‍රාතිහාර්ය පෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුගියදා ඩර්බිෂයර් හිදී පැවැති තුන්වැනි සහ අවසන් 20-20 තර​ඟයේදී කඩුළු 7 ක ජයක් අත්කරගනිමින් 20-20 තරඟාවලිය ජයගත්හ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්තයේදී පැවැති ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරඟාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.

වසර 2010 දී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විසින් එංගලන්තය පරාජය කිරීමෙන් පසුව, කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්තයේදී තරඟාවලියක් ජයගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

චෙන්ෆෝර්ඩ්න්හි පැවැති දෙවැනි 20-20 තර​ඟයේදී ශ්‍රී ලංකාව හමුවේ කඩුළු 8 කින් පරාජය වූ එංගලන්ත කාන්තාවෝ, දින හතරකට පසුව, පිට පිටම දෙවැනි වතාවටත් ඕවර 20 ක් ඇතුළතදී දැවී ගියහ. පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 18 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී තර​ඟය ජයගත්හ.

කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු පළමුවෙන් පන්ඳු යැවීම තෝරාගත් නමුත් මයියා බවුචර් සහ හෙදර් නයිට් වේගයෙන් ලකුණු ලබාගත්හ. ඉනිමේ පළමු ඕවර 10 නිමාවෙද්දී එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4 කට ලකුණු 70 ක් ලබා සිටියහ. එහෙත් චමරි අතපත්තු පන්දුව අතට ගැනීමත් සමගින් ලකුණු 46 ක් ඇතුළත ඉතිරි පිතිකාරිණියෝ හය දෙනාම දැවී ගියහ. කවීෂා දිල්හාරි (16/2), උදේශිකා ප්‍රබෝධනී (16/2) සහ නායිකා චමරි අතපත්තු (21/3) එක්ව කඩුළු හතක් බෙදාගත් අතර එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 19 කදී ලකුණු 116 කට දැවී ගියේය.

පහසු ඉලක්කයක් වූ ලකුණු 117 කරා යාමේදී යළිත් වතාවක් තමන්ට සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹයට පිවිසි අතපත්තු, පන්ඳු 28 කින් ලකුණු 44 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද, චමරිගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් අත්වූ සුවිශේෂී වාසිය වූයේ කලබලයකින් තොරව ඉලක්කය කරා යාමට මැද පෙළ පිතිකාරියන්ට අවස්ථාව සැලසීමයි. ඉනිමේ හත්වැනි ඕවරයේදී අතපත්තු දැවී යන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 65 ක් විය.

එතැන් සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 52 ලබාගැනීමට මැද පෙළ පිතිකාරිණියන්ට පන්දු 81 ක් ඉතිරි වී තිබිණ. මෙම තරගයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දැක්වූ දස්කම් නිසාත්, තරඟාවලියේදීම ලකුණු 14 ක් ලබාගනිමින් කඩුලු 5 ක් ද සිය නමට ඉදිරියෙන් සටහන් කරගෙන තිබූ නිසාත් ශ්‍රී ලංකා නායිකාව තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් සම්මාන ලැබුවාය.

එංගලන්ත කාන්තාවෝඕවර 19 කදී සියලු දෙනා දැවී 116

(මයියා බවුචර් 23, හෙදර් නයිට් 18, ඇමී ජෝන්ස් 20, ඩැනියෙල් ගිබ්සන් 21, සාරා ග්ලෙන් නොදැවී 16, උදේශිකා ප්‍රබෝධනී 16/2, චමරි අතපත්තු 2/3, කවීෂා දිල්හාරි 16/2)

ශ්‍රී ලංකා කාන්තාවෝඕවර 17 කදී කඩුලු 3 117 යි

(චමරි අතපත්තු 44, අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 26, සාරා ග්ලෙන් 23/2)

Share.

Comments are closed.