ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බවත්, මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවත්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හමුවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුවිය. එහිදී මෙරට කෘෂිකර්ම අංශය නවීකරණය හා පොහොර සම්පාදනය පිළිබඳ දීර්ග ලෙස සාකච්ඡා කරනු ලැබීය.

කෘෂි අංශ නවී​කරණය හා මෙරට කෘෂිනිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉළක්ක කර ගනිමින් සැ​කසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

අපේ රටේ පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් මේ වනවිට අපනයනය කරනවා. විශේෂයෙන් මෙරට කෙසෙල් හා අඹ  සඳහා විදේශ වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතිනවා. දැනට රාජාංගනය හා යාපනයේ වගා කරෙන ඇඹුල් කෙසෙල් ඩුබායි හා තවත් රටවල් කිහිපයකට අපනයනය කරනවා. වෙනත් රටවලින් ද ලොකු ඉල්ලුමක් පවතින නිසා තවත් කෙසෙල් වගා කළාප දෙකක් හම්බන්තොට, ඇඹිළිපිටිය හා සෙවණගල යන ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෝපි පිළිබදව ඇගයීමක්​ද කළේය.

Share.

Comments are closed.