ශ්‍රී ලංකා මහ බැංකුව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම ඊයේ (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම වැඩපිළිවෙල දියත් කෙරේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාල ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම සිදු කළහ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇත.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ. තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත (අවම වශයෙන් පසුගිය මාස තුන තුළ) ප්‍රේෂණය කර තිබිය යුතුය. මෙම ණය මුදල ලබාගත හැක්කේ,  ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහාය. ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක් වේ. මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවේ.

ණය මුදල නැවත ගෙවීම සඳහා උපරිම මාස 36 ක් දක්වා කාලයක් ලබා දෙන අතර ණයලාභියා ගෙන් අයකල හැකි උපරිම පොලී අනුපාතය 8% කි. මේ සඳහා තනිව හෝ ඒකාබද්ධව ණය අයදුම්පතක් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදි අදාළ බැංකුව වෙත යොමුකල හැකිය. අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ලඟම ඥාතියෙකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මඟින් ණය ගෙවීම සිදුකිරිම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා කාලය අවසන් කර ලංකාවට පැමිණි අයට පමණක් අදාළ අවස්ථාව ලබා දී ඇති අතර රුපියල් මඟින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙලඳපොල පවත්නා පොලී අනුපාතයන් අදාළ කර ගැනීම සිදුකරනු ලැබේ.

මේ සඳහා දායක වන බැංකු සඳහා 4% ක වාර්ෂික පොළි අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබා දේ.

· ලංකා බැංකුව
· මහජන බැංකුව
· කොමර්ෂල් බැංකුව
· හැටන් නැෂනල් බැංකුව
· සම්පත්බැංකුව
· සෙලාන්බැංකුව
· කාගිල්ස් බැංකුව
· DFCCබැංකුව
· ජාතික සංවර්ධනබැංකුව
· පෑන්ඒෂියාබැංකුව
· යූනියන්බැංකුව

ගිවිසුම් හුවමාරු කිරිමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් ඇතුලු  ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගමේ සභාපති සුරාජ් දන්දෙනිය යන මහත්වරුන් එක්ව සිටියහ.

Share.

Comments are closed.