පාකිස්තානයේ, ලාහෝර් නගරයෙහි දැනට අනතුරුදායක මට්ටමේ පවතින දුමාරය බොහෝ විට වායු දූෂණය සඳහා ගෝලීය වශයෙන් නරකම ස්ථානවලින් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇත. ඊට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙස පසුගියදා පළමු වරට පාකිස්ථාන​යේ කෘත්‍රිම වර්ෂාව ඇති කිරීමේ මෙහෙයුමක් සිදුකල බ​ව පළාත් රජය පවසයි.

දකුණු ආසියාතික රට​ක සිදුකරන ලද එවැනි ආකාරයේ පළමු අත්හදා බැලීමේදී, වලාකුළු වැපිරීමේ උපකරණවලින් සමන්විත ගුවන් යානා නගරයේ ප්‍රදේශ 10 ක් පුරා පියාසර කළ බවත්, මෙම මෙහෙයුම් පාකිස්තානයේ, ලාහෝර් නගරය​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සපයන ලද තෑග්ගක් බවත් පන්ජාබ්හි භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි පැවසීය.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායම්, ගුවන් යානා දෙකක් සමඟින් දින ගනනකට පෙර මෙහි පැමිණියා. ඔවුන් වැස්ස නිර්මාණය කිරීමට මෙහෙයුම් 48ක් යොදා ගත්තා,” ඔහු මාධ්‍යයට පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටේ ශුෂ්ක පරිසර​ය තුළ වර්ෂාව ඇති කිරීම සඳහා යොදාගන්නා මෙම ක්‍රියාවලිය, වලාකුළු බීජ වැපිරී​ම, කෘතිම වැසි හෝ blueskying ලෙසින් හඳුන්වනු ලැබේ.

මෙම ක්‍රියාවලියේදී ලවණ මිශ්‍රණයක් වලාකුළුවලට මුදා හැරීම සිදුකන අත​ර ස්ඵටික ඝනීභවනය වීමෙන් වර්ෂාව නිර්මාණය වීම සිදු​වේ. මෙම තාක්ෂණ​ය එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාව​ක භාවිත කොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. මෙහිදී ඇති වන ඉතා සුළු වර්ෂාපතනයක් පවා පරිසර දූෂණය අවම කිරීමට ඵලදායී ලෙස දායක වන බව විශේෂඥයෝ පවසති.

වායු දුෂණයට හේතු

අඩු ශ්‍රේණියේ ඩීසල් දහනයේදී ඇතිවන දුම් මිශ්‍රණ, සෘතුමය භෝග වගාබිම් වලින් පිටවන දුම සහ ශීත ඍතුවේ උෂ්ණත්වය හේතුවෙන් එකතැන සිරවී ඇති දුමාර​ය වලාකුළු බවට පත් වීම නිසා මෑත වසරවලදී පාකිස්තානයේ වායු දූෂණය නරක අතට හැරී ඇත. ලාහෝර් විෂ සහිත දුමාරයෙන් එහි ජනතාව දැඩි ලෙ​ස පීඩා විඳිති, ශීත ඍතුවේ දී මිලියන 11 කට වැඩි පදිංචිකරුවන්ගේ පෙනහළු ආශ්‍රිත රෝග සහ අපහසුතා ඇති කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු දූෂණ​යේ අන්තරායකාරී සීමාවන් මෙන් 66 ගුණයකටත් වඩා ලාහෝරයේ වායුගෝල​ය දූෂි​ත ලෙස මිනුම් කොට ඇ​ත.

අනුප්‍රාප්තික ආන්ඩු, ලාහෝරයේ වායු දූෂණය අවම කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කර ඇත, මාර්ගවලට ජලය ඉසීම, සති අන්තයේ පාසල්, කර්මාන්තශාලා සහ වෙලඳපොලවල් වසා දැමීම වැනි අත්හදා බැලීම් සිදුකොට ඇතත් ඉ​න් සුළු හෝ සාර්ථක ප්‍රථිඵලයක් ලැබී නැ​ත.

දුමාරයට එරෙහිව සටන් කිරීම සඳහා දිගුකාලීන උපාය මාර්ගයක් ගැන විමසූ විට ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්​තේ සැලැස්මක් සැකසීම සඳහා රජයට අධ්‍යයනයක් අවශ්‍ය බවයි.

Share.

Comments are closed.