ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේය.

මෙරට තුල කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය. මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවද ප්‍රකාශ කළේය.

මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කර සිටියේය. කොව්ඩ් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලූවන්සා රෝගයට සමාන රෝග තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් සියයට තිහකට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

Share.

Comments are closed.