මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 348,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 10,878) වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
එම වෙළෙඳ භාණ්ඩ අතරට ඇඟලුම්, තේ, රබර්, පොල් ආශ්‍රිත නිෂ්පාදන,මැණික්, ස්වර්ණාභරණ, කුළුබඩු, එළවළු, පලතුරු අයත්‍ ය.

වැඩිම අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නෙ අමෙරිකාවෙනි. එය අමෙරිකානු ඩොලර් මිලියන 2,504.82ක අගයක් වේ. ඊට අමතරව යුරෝපා සංගමය, දකුණු ආසියාව, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්, අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග රටවල් වෙත ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 31,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 968.8) වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර ශ්‍රී ලංකා රේගුව මඟින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය නොවැම්බර් මාසයේදී සියයට 4.4කින් වර්ධනය වී තිබේ. නමුත් එය පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 2.67ක පහළ යෑමක් බව ද මණ්ඩලයේ වාර්තා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇඟලුම් හා රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, දියමන්ති මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර පාන වර්ග, මුහුදු ආහාර, විසිතුරු මසුන්, එළවළු, පලතුරු, වෙනත් අපනයන භෝග, මල් සහ ශාක පත්‍ර, බෝට්ටු නිෂ්පාදන සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන අපනයනයෙන් ආදායම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බව අපනයන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඉකුත් ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,908.1ක් වූ අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 68.72කින් වර්ධනය වී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදි කිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ කාර්යෝපාය සේවාවලින් සමන්විතය.

ලෝකයේ රටවල් රැසකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බෙල්ජියම, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, බංග්ලාදේශය සහ මෙක්සිකෝව යන රටවල් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

Share.

Comments are closed.