රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (11) පැවසීය.
එසේම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී ලබන මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් TIN ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවත් තාක්ෂණික පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන ස්වභාවය නිසා මෙයට කාලය ලබා දීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කලේය.

වර්ෂයකට රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි ආදායමක් ලබන අවුරුදු 18ට වැඩි පුද්ගලයන් පමණක් බදු ගෙවීම සඳහා සුදුසුකම් ලබයි. මෙලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනා බදු හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු අතර නමුත් ඔවුන් සියලු දෙනාම අනිවාර්යයෙන්ම බදු ගෙවීමට යටත් වන බව ඉන් ඉස්මතු නොවේ. 

ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.