කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ අද(25) අලුයම 2.00 ට පමණ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී එම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු සඳහන් කරති. 
එහිදී මියගොස් ඇත්තේ ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කල ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙකි.

මේ සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සදහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගත් බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය පැවසීය.
1975 වර්ෂයේ උපත ලබා ඇති සනත් නිශාන්ත  අමාත්‍යවරයා මිය යනවිට 48 වැනි විය ඉක්මවා සිටියේය.

Share.

Comments are closed.