අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කලේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

පුද්ගල විශේෂතා වලින් තොරව, සෑම දෙනාටම පොදු නීතියක් යටතේ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන නව විධි විධාන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ හා සම්බන්ධ සියලුම විශේෂඥයින් මෙන්ම පොලිසිය හා අනිකුත් ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් ද පසුගිය 29 දා පැවති බවත් ඔහු මෙහි දී පැවසීය.

එහි දී අනාවරණය වූ කරුණු අනුව, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරු බහුළ වීමට ප්‍රධාන හේතුව වශයෙන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම හා නියමිත වේගයට වඩා අඩු වේගයකින් ධාවනය කිරීමත් බව මෙහි දී අනාවරණය වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, පුද්ගලභේදයකින් තොරව සැමට එක සේ ක්‍රියාත්මක වන පොදු වන නීති රීති පද්ධතියක් ඇතුළත් වන ගැසට් නිවේදනයක් මෙලෙස සති දෙකක් ඇතුළත ඉදිරිපත් කෙරෙන බවත්, මේ සඳහා විශේෂඥ කමිටුවක් මඟින් ලබා දෙන නිර්දේශ මත මෙම කාර්යය සිදු කරන බවත් අවධාරණය කළේය.

එමෙන්ම, අධිවේගී මාර්ග වලදී අනතුරට ලක් වූවන් බේරා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පිරිස් යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන අතර අධිවේගී මාර්ග වල උපරිම වේග සීමාව 100Kmph ලෙස සටහන් වුවත් අවම වේග සීමාවක් නොමැති හෙයින් අවම වේග සීමාවක් ද ඇතුළත් වන ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් හෙතෙම මෙහි දී පැවසීය.

Share.

Comments are closed.