රජයේ සතු සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වෙන් කර ඇතැයි කැබ්නට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදු වන බව හෙතෙම කීවේය. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2025 වසර සඳහා වන අය-වැය මඟින් ලබාදීමට සිදු වන බව ද ඇමැති මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද 2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම, 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023-10-16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම්, අදාළ මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද ඇමැති මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සිය එකඟතාව ලබාදීමට තීරණය කළ බව සඳහන් වේ. ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කලේ,  “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් අනුව නියමිත කලට අවශ්‍ය මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු කරනවා. ඒ සඳහා තිබෙන ප්‍රධාන බාධකය වෙන්නේ ප්‍රමාණවත් අරමුදලක් වෙන්කර ගැනීමේ ගැටලුව. ඒ ගැටලුකාරී තත්ත්වය එලෙසින්ම පැවැතියත් 2024 වසර තුළදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් බිලියන 10ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. 2025 වසර තුළදී පළාත් සභා, පළාත් පාලන යනාදියේ ඡන්ද පවත්වන්න පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා. 2023 වසරේදී විගණනය නොකළ වාර්තා අනුව පසුගිය වසරේ ආදායම් වශයෙන් අපට ලැබිලා තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1550යි. රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 922යි.
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 169යි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 20යි. මෙය බදුවලින් ලැබිල තියෙන්නේ.
බදු නොවන ආකාරයට රුපියල් බිලියන 219යි. ප්‍රදාන රුපියල් බිලියන 16යි. තැන්පතු වර්ගවලින් රුපියල් බිලියන 303යි. භාණ්ඩාගාරයට සියලුම ආකාරයෙන් 2023 වසරේදී ඇවිල්ලා තිබෙන්නේ මුදල් රුපියල් බිලියන 3201යි. ට්‍රිලියන 03යි. පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 4394ක්. ට්‍රිලියන 03ක් ලැබෙනකොට ආණ්ඩුව පත්වාගෙන යන්න ට්‍රිලියන 04ක්. පවත්වාගෙන යන්නත් ට්‍රිලියන් 01ක් මදි. වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ අනෙක් පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 2160යි. පොලී 2263යි. ඒ පුනරාවර්තන වියදම් ටික රුපියල් බිලියන 4394යි.

රජයක් විදේශ ණය නොගෙවා හිටියත් අනෙක් ණය ගෙවන් ඕන. ණය ගෙවන්න හා ප්‍රාග්ධන වියදම් දරන්න 2023 වසරේ දී භාණ්ඩාගාරයෙන් වියදම් කරලා තිබෙනවා රුපියල් බිලියන 8898ක්. භාණ්ඩාගාරයෙන් පිටතට ගිය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 13392ක්. 2023 වසරේදී සියලුම ආකාරයන්ගේ භාණ්ඩාගාරයට ගලාගෙන ඇවිත් තිබෙන්නේ ට්‍රිලියන 03යි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාලමක් බර වාහනයක් සමඟ කඩා වැටීමෙන් ගමනා ගමනය සම්පූර්ණයෙන් නතර වෙලා. විෂය භාර ඇමැතිවරයා වශයෙන් මම කාර්ය මණ්ඩලය එතැනට යවලා තිබෙනවා තාවකාලික පාලමක් ඉදිකරන්න. පාලමක් ඉදි කිරීම සඳහා මූල්‍ය සපයා ගැනීම ගැන අපිට ගැටලුවක් තිබෙනවා. ඉතාම අනතුරුදායක පාලම් 30ක් තිබෙනවා.

එය හැදීම සඳහා මූල්‍ය තත්ත්වය උඩ බැහැ. පුනරාවර්ත වියදම් සඳහාවත් මුදලක් ආණ්ඩුවට ආදායම් වශයෙන් ලැබෙන්නේ නැහැ. කුමන ජනාධිපතිවරයෙක් යටතේ වුවත්, කවර ආණ්ඩුවක් යටතේ වුවත් ලැබෙන මුදල් හා දරන වියදම් ගැන කළමනාකරණය පිළිබඳ දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් අපි ක්‍රම ක්‍රමයෙන් සොයාගත යුතුයි. සියලු අර්බුදයන්ට හේතු දෙකයි. රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය. මේ දෙකට උත්තර නැති කිසි කෙනෙක්ට ඉස්සරහට ආණ්ඩු කරන්න බැහැ. ඒ අමාරුවෙන් තමයි මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තිබෙන්නේ. සංඛ්‍යා දත්ත රහිතව හිතට එන ඕනම දෙයක් කියන්න පුළුවන්. නමුත් සංඛ්‍යා දත්ත එක්ක මේ සියල්ල බලන්න පුළුවන්. විගණනය කළාට පස්සේ රජයේ විගණකාධිපතිවරයා ඉතුරු සංඛ්‍යා මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරයි.”

Share.

Comments are closed.

Exit mobile version