ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ප්‍රථම වරට ÒSourced Sri Lanka – Textile & Apparel Road showÓ නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Sri Lanka Apparel Sourcing Association (SLASA), එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව මෙය සංවිධානය කරන අතර, මේ ප්‍ර‍දර්ශනය එළැඹෙන ජුනි මස එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බවත් වාර්තා වේ. ශ්‍රී ලාංකික ප්‍රදර්ශකයන් පනස්දෙනකුගේ සහභාගිත්වයෙන් මෙන්ම විදේශීය ගැනුම්කරුවන් සහ වෙළෙඳ නැරඹුම්කරුවන් දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික සහභාගිත්වය මඟින් නව ගැනුම්කරුවන් සොයාගැනීම අපේක්ෂා කරන අතර, ඒ තුළින් මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට නව උත්තේජනයක් ලැබෙනු ඇත. 2026 වසර වන විට එක්සත් රාජධානියට ඇමෙරිකානු ඩොලර් බිලියන 1කින් ඇඟලුම් අපනයනය වැඩි කිරීමේ අරමුණින් යුතුව නව ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සහ එක්සත් රාජධානියේ දැනට සිටින ගැනුම්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම ප්‍රදර්ශනයේ මූලික අරමුණ බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම තිරසර ඇඟලුම් නිෂ්පාදනය කරන රටක් ලෙස ලෝකයේ ජනප්‍රියතාවයක් උසුලන අතර, වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයද අභියෝග රැසකට මුහුණ දී ඇත. එයින් ප්‍රධානම අභියෝගය වන්නේ අපගේ ප්‍රධාන වෙළෙඳපොළ වන ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල පසුගිය වසර දෙකෙහි ඉහළ වෙළෙඳපොළ තුළ ඇති ඉල්ලුම අඩු වීමයි.

එබැවින් ඇඟලුම් අපනයනයේදී ඉහළ වෙළෙඳපොළ ඉලක්ක කරන ශ්‍රී ලංකාව වැනි රටවලට එය අභියෝගයකි. මේ තත්ත්වයට මුහුණදීම සඳහා නව වෙළෙඳපොළ මෙන්ම වෙළෙඳපොළ තුළ සිටින නව ගැනුම්කරුවන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එහි එක් වැදගත් පියවරක් ලෙස SOURCED SRI LANKAAPPAREL ROAD SHOW අපනයන ප්‍රවර්ධන වැඩසටහන සංවිධාන කෙරේ.

Share.

Comments are closed.