සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ආසන 6 – 15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් බදු සහන නොමැතිව ආනයනය සඳහා මේ අනුව අවසර හිමිවනු ඇත. සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සැලකුවද, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක හා ප්‍රමාණවත් නොවන බවත්, යල්පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන සිටින කීර්ති නාමයට යම් හානියක් සිදු කරන බවත් පෙනී ගොස් ඇත.

මේ නිසා, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයේ දායකත්වය සැලකිල්ලට ගනිමින් එකී කර්මාන්තයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, විශේෂ බදු සහන ලබා දීමකින් තොරව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Share.

Comments are closed.