ඊයේ (02)  දින කොළඹ වානිජ මහාධිකරණය විසින් සෙනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කලේය.  “අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරනු ලබා ඇත.

එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරනු කර ඇත.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබේ.
තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද ගරු මහාධිකරණය විසින් වාරණය කරන ලදී.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ මහතා විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

නැවත මෙම නඩුව 2024/4/16 දිනැතිව කැදවීමට  වානිජ මහාධිකරණය නියෝග කර ඇත.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියේය.

Share.

Comments are closed.