ශ්‍රී ලංකා ධරණී තලය දෙවැනි වරටත් බුදු පහසින් ආලෝකවත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී ඇත.

සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසලොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වන්නේ බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වේ. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.

තවද මෙම දිනයේදීම සිදුවූ තවත් වැදගත් සිද්ධියක් වන්නේ මහෝදර නා රජුගේ සහයට පැමිණි ඔහුගේ මයිලනුවන් වන “මණි අක්ඛිත” නා රජු විසින් බුදු පියාණන් හට තම අණසක පැතිරුනු “කැලණිය” වෙත වඩින මෙන් ආරාධනා කිරීමය. පොහොය දිනය වෙනුවෙන් අද(23) උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වේ.

Share.

Comments are closed.