විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත (කොන්සියුලර්) අංශය, 2024 මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙත රැගෙන යන බව එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්‍රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සැපයෙනු ඇත.

සුහුරුපායේ පිහිටි නව කාර්යාල පරිශ්‍රය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) මාරු කිරීමේ කටයුතුවලට පහසුකම් සලසනු පිණිස 2024 අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින තුළ, ප්‍රදූත අංශයෙන් මහජනතාවට සැපයෙන සත්‍යාපන සේවා තාවකාලිකව අත්හිටවනු ලැබේ.

එසේ වුවද ඉහත කී සංක්‍රාන්ති කාලය ඇතුළත යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය ප්‍රදූත කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවන්හි මහජනතාවට විවෘතව පවති. ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන්/කාරියන් වෙත ලබා දෙනුයේ 2024 මැයි 02 වැනි බ්‍රහස්පතින්දා දින පමණි.

සිදුවිය හැකි කිසියම් අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා සත්‍යාපනය කිරීම පිණිස යම් හදිසි ලේඛන ඇතොත් ඒවා 2024 අප්‍රේල් මස 26 වැනි දින ප.ව. 4.15 ට පෙර කොළඹ පිහිටි ප්‍රදූත අංශයට හෝ ඕනෑම ප්‍රාදේශීය ප්‍රදූත කාර්යාලයකට හෝ භාරදෙන ලෙසද මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

Share.

Comments are closed.