මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” maldivians” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇත. ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Q2 – 940 දරන මෙම ගුවන් යානය ඊයේ දින රාත්‍රී 09.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇත.

අනතුරුව මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිත වේ.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා ද පැමිණ සිටියේය .

එම අමාත්‍යවරයා ඇතුළු එම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් මහත්මිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Share.

Comments are closed.