ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අද(10) අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 77 වන වියේ පසු වුණු ඒ මහතා
සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘ ධුරය හෙබවීය.

දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල කටයුතු සිදු කල ඔහු කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වේ.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතාය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් වේ.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ විද්වතෙක් ලෙස සැලකිය හැක. එතුමා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකු ලෙසද බුහුමනට පාත්‍ර විය.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතාය.

ඒ මහතාගේ දේහය හෙට(11) උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කරනු ඇත. රංජිත් කුමාර මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා උදෑසන කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.

Share.

Comments are closed.