ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම තම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණය.

මෙම වැඩපිළිවෙළ රජය මෙන්ම පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සමඟ ඇමැති අමරවීර මහතා පෙරේදා (13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සංචාරය නිමවා ආපසු ගුවන්තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේදී මෙම සිහිවටනය ලබා දීමේ යෝජනාව සඳහා පුද්ගලික තේ කර්මාන්තකරුවන් ද සිය එකඟත්වය පළ කර ඇති අතර ඒ සඳහා දායකවීමට සූදානම් බව ඇමැති අමරවීර මහතාට දැනුම් දී තිබේ.

මේ සඳහා වැයවන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය විසින් දැරීමට නියමිතය. මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්තශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙති.

එසේම ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද සංචාරකයෝ විශාල උනන්දුවක් දක්වති. මේ නිසා සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Share.

Comments are closed.