දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.

නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙසේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

දැනට මාස කිහිපයක සිට මෙම තනතුර හිස්ව පවතින අතර මේ වන විට වඩාත් කතාබහට ලක්ව ඇති යුක්‍රේන – රුසියා යුද්ධය සඳහා මෙරට හමුදා සාමාජිකයින් බඳවා ගැනීමේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ තානාපතිවරයෙකු නොමැති වීම ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවට පත් ව ඇති බව සඳහන් ය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ තානාපතිවරයෙකු නොමැති වීම කාර්ය පටිපාටිය අනුව පවතින ප්‍රමාදයක් බවය.
රුසියාවේ පවතින තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්ෂණය කිරීමට යොමු කෙරෙනු ඇත.

දැනට තානාපතිවරයෙකු නොමැති වීම විශාල ගැටලුවක් නොවන බව ද සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු රුසියාවේ රැඳී සිටින බව ද සඳහන් කළේය.

Share.

Comments are closed.