කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. ඒ අනුව කටයුතු ආරම්භයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ‘ඊබ්‍රාහිම් රයිසි’ ඇතුළු පිරිස වෙනුවෙන් සිය ශෝකය පළ කලේය.

ඉස්ලාම් ධර්මය අනුව ඔවුන් සියළු දෙනාට ස්වර්ගයේ දොරටු විවර වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද විපක්ෂනායකවරයා එහිදී කියා සිටියේය.
ඉන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කරමින් මැති ඇමතිවරු ඇතුළු සියළු දෙනා විනාඩියක පමණ නිශ්ශබ්දතාවක නිරත වූහ.

මේ අතර අද (22) දිනයේ ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ‘ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහාද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන් වේ.

දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික කොමිෂන් සභාවක් ඇතුලු ආයතන 5ක් පිහිටුවීමට යෝජිතය.

Share.

Comments are closed.