දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව ඇත.

ඒ අනුව වෙසක් පුන් පොහොය හේතුවෙන් වෙළෙඳපොළ ගනුදෙනු නතර කිරීමට පෙර දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.87ක හෙවත් 1.08%ක වර්ධනයක් අත්පත් කරගැනීමට හැකිව තිබෙන අතර, දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,348.84ක් ලෙස වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකයද දිනය තුළ ඒකක 58.18කින් හෙවත් 1.61%කින් ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේ එහි අගය ඒකක 3,666.89ක් ලෙසින් සටහන් වී තිබිණි. ඊට අමතරව රුපියල් බිලියන 1.46ක ගනුදෙනු පිරිවැටුමක් එදින වාර්තා විය.

එහිදී දේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 1.41ක් හා දේශීය විකිණුම් රුපියල් බිලියන 1.35ක් ලෙස සටහන් වූ අතර, විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 49ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 106ක් ලෙස දැක්විණි.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යෑම සඳහා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, NDB බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් වැඩි දායකත්වයක් ලැබී තිබිණි. දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදීමට හැටන් නැෂනල් බැංකුව (රුපියල් මිලියන 147), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (රුපියල් මිලියන 98) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රුපියල් මිලියන 80) යන සමාගම් සමත් විය.

Share.

Comments are closed.