රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඊට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එම සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තීය සමිති මඟින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන, එකී වැටුප් විෂමතාවන් පිළිබඳ කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අය-වැය මඟින් එම විෂමතාවන් නිවැරදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය. වැඩිදුරටත් ඔහු මෙසේ පැවැසීය.

“පසුගිය දිනවල දිගින් දිගටම රාජ්‍ය අංශයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවක වැටුප් හා වැටුප් විෂමතා පිළිබඳ විවිධ අවස්ථාවලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ විවිධ ඉල්ලීම් රජය සහ ජනාධිපතිවරයා වෙත කළා. විශේෂයෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනධ්‍යයන සේවක මණ්ඩල විසින් වැඩ වැරීමක් කරලා තිබුණා ඔවුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ. සෞඛ්‍ය අංශත් අධ්‍යාපන අංශත් අනෙකුත් රාජ්‍ය අංශයේ විවිධ වැටුප් විෂමතා හා වැටුප් පිළිබඳ කරුණු ඉදිරිපත් වුණා. ඒ සඳහා කිසිදු මූල්‍ය වෙන් කිරීමක් මේ වසරේ දී කරන්න පුළුවන්කමක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ කිසිසේත් රජයකට පුළුවන්කමක් නැති තත්ත්වයක් තිබෙන්නේ. පසුගිය අය-වැය ලේඛනය මඟින් රුපියල් 10,000ක දීමනාවක් වැඩි කරලා ඇති කරපු වෙනස්කම් සඳහා පමණයි මූල්‍ය ප්‍රතිපාදන තිබෙන්නේ. කුමන ආකාරයෙන් නිර්දේශයක් ඉදිරිපත් කළත් ඒ නිර්දේශය මේ වසරේදී ක්‍රියාත්මක කරන්න මූල්‍ය ප්‍රතිපාදන ලබාගන්න ක්‍රමවේදයක් නැති නිසා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ සියලු රාජ්‍ය අංශයේ රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලය යන ආදියේ වැටුප් පිළිබඳ පවතින විෂමතා හා වැටුප් පිළිබඳ පවතින අනෙක් සියලු ප්‍රශ්න අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න.

ඒ සඳහා විසඳුම් හා යෝජනා සියල්ල 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කරලා 2025 වසරේ සිට ඒ ඒ විෂමතා සියල්ල ඉවත්වෙන ආකාරයට රජයකට කළ හැකි උපරිමය සඳහා වන නිර්දේශ ඉදිරිපත් කරන්න විශේෂඥ කමිටුවක් පත් කළා. ඒ අනුව තමන්ට තිබෙන ගැටලු, වෘත්තීය සමිතිවලට තිබෙන ගැටලු, සේවක සේව්‍ය පාර්ශ්වයට තිබෙන ගැටලු සියල්ල මේ විශේෂඥ කමිටුවලට ඉදිරිපත් කරලා විසඳුම් යෝජනා 2025 වසරේ අය-වැය ලේඛනයේ සිට ලබාදීම සඳහා වෙන කමිටුවක් පත් කළා. ඒ නිසා වැඩ වැරීම්, උද්ඝෝෂණ, පිකටින් යනාදියෙන් තොරව තමන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලු මේ කමිටුවට ඉදිරිපත් කරලා ඒ සඳහා වන එකඟතා සහිත විසඳුම්වලට ලබන වසරේ අය-වැය ලේඛනයේදී හැකි වෙනවා.”

Share.

Comments are closed.