වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දුන් ත්‍රිපෝෂ ආහාරය නැවත නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කලේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය. මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය යොමුවී තිබේ.

ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා  ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට පසු ගිය කාලයේදී සෞඛ්‍ය අංශ නිලධාරීහු කටයුතු කලහ.

එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබීම හේතුවෙන්  එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.