විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවය.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය විසින් පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව සඳහන් වේ. අදාළ යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බව ද මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් ක‌ළේ, විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සතියේ මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවය.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුය.

Share.

Comments are closed.