පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතා වසර අටක කාලයකට ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීමට සිදු වීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවී තිබේ. මේ හේතුවෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිවයුතු බව කමිටුව සඳහන් කරයි
මේ අතර ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළ වූ බවද සඳහන් වේ.

මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 – 2022 අතර කාලයේදීය. එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර ඇත.

සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බව කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.

එසේම මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ වනවිට රටේ නොමැති බවද හෙළි වූ අතර මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කළ කමිටුව අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Share.

Comments are closed.