නව නිපැයුම්කරුවකු වන වැලිමඩ දරගල ලසන්ත රුවන් ලංකාතිලක මහතා මෙරට පළමු වරට මිරිස් වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ මෙම නිෂ්පාදනය සිදු කර තිබේ.

එම මිරිස් අයිස්ක්‍රීම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමනු ලැබීය.

මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව ලංකාතිලක මහතා පැවසීය.

ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස් වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කරනු ලබන බව සඳහන්.දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ දෙකක් හඳුන්වා දී ඇතී අතර ඉදිරියේ දී මෙම මිරිස් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව රුවන් ලංකාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.