මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් පසු ගියදා ගොනු කර තිබුණි. මීට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න තමාගේ දැඩි ස්ථාවරය බව ද ජනාධිපතිවරයා පවසයි.
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත.
අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙහි 3 වැනි වගන්තිය මඟින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථනිරූපණය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.