ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව (මහ සභා රැස්වීම) මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනය කලේය.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද පසු ගිය පෙබරවාරියේදි පැවසීය.

කෙසේ වෙතත් එම කාලසීමාවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර තිබූ කාලසීමාවක් වූ අතර, ඒ හේතුවෙන් මෙම සමුළුවේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් තිබුණි.
වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට අහිමි වූයේද එම තහනමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

අයි.සී.සී. වාර්ෂික සමුළුවක් ආසියානු කලාපයකදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ අනුව ඊට සත්කාරකත්වය ලබාදෙන පළමු ආසියානු රට වීමේ ගෞරවය මේ අනුව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මෙම සමුළුව සඳහා අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, පැසිෆික් සහ යුරෝපය යනාදි ලොව සියලුම ක්‍රිකට් කලාප ආවරණය වන පරිදි රටවල් 108කින් නියෝජිතයන් 220කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.

ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ ප්‍රධානම හමුව මෙම වාර්ෂික සමුළුව වන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පරිපාලනය සහ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන ප්‍රධානම වේදිකාව මෙය වේ.

Share.

Comments are closed.