නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවීකරණය කරන ලද අභ්‍යන්තර මාර්ගය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්, අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, උප කුලපති වී. කනගසිංහම් මහත්වරු ඇතුළු පිරිස විසින් විවෘත කරන ලදී.

මඩකලපුව පීල්ලයාරඩ්හි නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය කාපට් අතුරා නවීකරණය කිරීමෙන් අනතුරුව සිසු අයිතියට පත් කිරීම ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතාගේ ආරාධනයෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උත්සවය අමතා අදහස් දැක්වූ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතා පැවසුවේ මෙම ප්‍රදේශයේ දියුණුව සඳහා බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ඉතා විශාල වශයෙන් අපට සහයෝගය ලබාදෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

‘ලෝකය වෙනස් කළ හැකි බලගතුම ආයුධය අධ්‍යාපනය බව වරක් නෙල්සන් මැන්ඩෙලා ප්‍රකාශ කර තිබෙනවා. නැඟෙනහිර විශ්වවිද්‍යාලයට ඉතාමත් වටිනා සම්පතක් ලෙස සැලකිය හැකි මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කුවේට් අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පනහක ණය ආධාර යටතේ නිමවී තිබෙනවා. කුමන අරමුදල් යටතේ ලැබුණත් ප්‍රදානයන් නොවන අනෙකුත් සියලුම ලැබීම් ආපසු ගෙවිය යුතු සහනදායි ණය. විශ්වවිද්‍යාල, පාසල්, රෝහල්, මංමාවත්, විදුලිය ආදී යටිතල පහසුකම් සියල්ල ජනතාවගේ බදු මුදලින් සිදු කරන බව රටේ ඇතැම් විද්වතුන් අතරත් මතයක් පවතිනවා. නමුත් මේ කිසි දෙයක් රට තුළ ගොඩනැඟී තිබෙන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නොවෙයි යැයි කීවේය. ඊට හේතුව රජය එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් උපයාගත හැකි ප්‍රමාණයේ බදු ආදායමක් රටේ පැවැති කිසිම රජයකට ලැබී නොතිබීමයි. කවර දේශපාලන මතයක් දරන පිරිසක් ආණ්ඩු බලය හිමිකර ගත්තත් සෑම මසකම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු සහනාධාර, ලබාගත් ණය සඳහා පොලී ගෙවිය යුතුයි. ජනතාව මත විශාල බදු බරක් පනවා හෝ මෙම පුනරාවර්තන වියදම් දරා ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් ලබා ගැනීමට කිසිදු රජයක් සමත් වී නැතැයි ද පැවසුවේය.

“මෙම විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල යහපත වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාලය ආශ්‍රිතව වන්දාරමුල්ල ප්‍රදේශයට උප දුම්රිය ස්ථානයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කළා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඉදිරි මාසයක කාලය තුළ ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට කටයුතු කරනවා ” යැයිද ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති වී. කනගසිංහම් මහතා,සෞඛ්‍ය ආරක්ෂණ පීඨයේ පීඨාධිපති ටී. සදානන්ද මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.

Comments are closed.