ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.

එම අපේක්ෂක ලැයිස්තුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර, ව්‍යාපාරික ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරුන් සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඇතුලත් වූහ.

මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපති J R ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මීට පෙරාතුව ඉඟි ප්‍රකාශ කර තිබුනි.
අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවය.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

Share.

Comments are closed.